අපේ ළිඳ ඉසීමට ඕනෑ වූ විට අම්මාට ඇත්තේ ඇගේ දුරකතන අංක ඇති පොතේ "නෙවිල් ළිං ඉහින" යන නම ඉදිරියෙන් ඇති අංකයට කතා කිරීම පමණි. අපට පහසු වේලාවක නෙවිල් සිය ත්‍රිරෝද රියෙන් පැමිණේ. ළිං පතුලටම දමා වතුර මඩ ආදී සියලුම දේ ඇද ගන්නා මෝටරය, මෝටරයට සම්බන්ධ කරන අඟල් තුන හතරක් මහත සහ අඩි ගණනාවක් දිග ප්ලාස්ටික් බටය, ඉණිමග ගැට ගසන ශක්තිමත් කඹය ආදිය ඔහුගේ ආම්පන්නයි. උස් නිරෝගී සිරුරක් ඇති නෙවිල් ළිඳ ඉසීමට සහායකයෙකු ගෙන එන්නේ නැත. එහෙත් අපට "ව්‍යායාම දෙන්නට" යැයි කියමින් ඔහු අපට සුළු සුළු වැඩ පවරයි. ළිඳ ඉහින මුළු කාලය තුළ නෙවිල්ගේ 'චව් චව්ගේ' කටහඬින් කතා කරන කට නැවතෙන්නේ නැත. මෙය ළිං ඉසින පුද්ගලයන්ට ආවේණික දෙයක්දෝයි සිතේ. මා දැක ඇති ළිං ඉසින්නෝ වැඩි දෙනා ළිඳ තුළට ගිය පසු නොනවත්වා කතා කරන අයයි. ළිඳ තුළදී ඇති වන කාන්සියක් වැනි හැඟීමක් නිසා එසේ කරනවා විය හැකිය.
ළිඳ ඉසීමේ කාර්යය අතරතුරේදී නෙවිල් කියන රසවත් කතාවල ළිඳේ ගැඹුරට වඩා බොහෝ ගැඹුරක් තිබේ.
"විසි පහක් විතර පැන්නහම නම් පැනලා යයි කියලා බය වෙන්න ඕන නෑ. එතකං තමයි පරිස්සම් කර ගන්න ඕන. දැන් හැදෙන එවුන්ට මොබයිල් ෆෝන් තියන නිසා ඕනැ එකාටයි එපා එකාටයි ඔක්කොටම කතා කරනවා" ඔහු කියන්නේ සිය විසි එක් හැවිරිදි දියණිය ගැන ආඩපාලි කියමිනි. "තාම හැම ගෙදරම වැඩ කරන්නෙ අම්මලා තමයි. අපේ කෙල්ල ගෙදර කිසි වැඩක් කරන්නෙ නෑ. කිව්වොත් විතරක් කොස්ස අරන් ගේ පොඩ්ඩක් අතු ගානවා" බඹ පහක් ගැඹුරු ළිං පතුළේ සිට ඔහු කියයි.
දේශපාලකයන්ට බැණ වැදීමත් ඔහුගේ ප්‍රධාන රාජකාරියකි. එක්තරා ඇමතිවරයෙකු වත්කම් හෙළි වීමේ ප්‍රශ්නයකට මුහුණ පෑ අවස්ථාවේ පොළඟෙකු කෑ බව කියමින් පෞද්ගලික රෝහලකට ඇතුළත් වූ පුවතක් සිහිපත් කළ ඔහු කීවේ "අනේ අප්පේ ඉතින් ඔය කකුල බිම තියන්න එපායැ පොළඟෙක් කන්න!" කියාය.
සිංහල බස මවු බස නොවන නිවසකදී සිදු වූ සිදුවීමක් නෙවිල් නිතරම කියන කතාවකි. සාමාන්‍යයෙන් ළිඳ ඉස අවසන් වූ පසු "ඔන්න ඔක්කොම හරි, අඟුරු කෑල්ලක් දාන්න" යැයි ඔහු ගෙහිමියන්ට කියයි. අර කියූ නිවසේ දී එසේ කී පසු නිවස තුළ සිට කලබලෙන් ආ කාන්තාවක් "බාස් උන්නැහේ ඔන්න ඉඟුරු කෑලි දෙකක්ම දැම්මා" යැයි කීවේලු. "අනේ මට මොකද ඉඟුරු බැරි නම් ඕන එකක්. ඉඟුරුත් නරක දෙයක් නෙවෙයිනෙ. මම ආපහු කියන්න ගියේ නෑ!" ඔහු කියන්නේ අප සිනා සයුරේ ගිල්වමිනි.

No comments:
Post a Comment