Monday, October 28, 2013

පුංචි පුතා සහ සෙල්ලම් කාර් එක

පදික වේදිකාවේ මට ඉදිරියෙන් පුංචි පුතෙක් එක්ක අම්මයි තාත්තයි යමින් හිටියා. එක පාරට සාප්පුවක තිබුණ පුංචි දරුවන්ට නැගලා පැදගෙන යන්න පුළුවන් විදියේ සෙල්ලම් කාර් එකක් දැකලා පුතා නැවතුණා. "මට අරක අරන් දෙන්න" පුතා කෑ ගැහුවා. ඒක අහලා තාත්තට හිනා ගියා. "දැන් අරන් දෙන්නද?" කියලා තාත්තා ඇහුවෙ ඇත්තටමත් වඩා විහිළුවට වගේ. හරියට අපි වැඩිහිටියන්ගෙන් අහන්නෙ "වෙන මුකුත් එපාද?" කියලා. අන්න ඒ වගේ ටෝන් එකකින්. එතකොට පුතා කියනවා "නෑ, දැන් බලලා විතරක් යමු".

මේ සිදුවීම මට හරිම සංවේදී අවස්ථාවක් වුණා. මට මතක නැතත් අපේ අම්මා හැම තිස්සෙම මතක් කරන මේ වගේම සිදුවීමක් නිසායි ඒ. මගේ මල්ලී පුංචි කාලෙත් මේ විදියටම පැදගෙන යන්න පුළුවන් සෙල්ලම් කාර් එකක් ඉල්ලලා අඬලා තියනවා. ඒ කාලෙ ඒ කාර් එකේ මිල අම්මගෙ පඩිය වගේ තුන් හතර ගුණයක්ලු. ඒ නිසා ඒ කාර් එක විකුණන්නෙ නෑ කියලා කඩේ මුදලාලි ලවාම කියවලා බොහොම අමාරුවෙන් අඬන මල්ලිව එතනින් අරන් ආවලු.

'හොඳම දේ ළමයින්ටයි' කියලා නිතරම කියන අපේ අම්මා ඇයට පුළුවන් දේටත් වඩා දේවල් අපට අරන් දීලා තියනවා. ඒත් පුංචි පුතාට අර සෙල්ලම් කාර් එක අරන් දෙන්න බැරි වුණ එක ගැන ඇය අදටත් පුදුම විදියට පසු තැවෙනවා, දුක් වෙනවා. ඔය ඉතිං හැම අම්මා කෙනෙකුගෙම හැටි වෙන්න ඇති!




No comments: