Friday, March 7, 2014

යකාට බය නැති සීයා/ The grandpa in the cemetery

අපේ ගමේ සුසාන භූමියට දැන් මාස හතරක පහක සිට අමුතු කල එලියක් වැටී තිබේ. සොහොන් පිටියේ ඇති පුංචි ගොඩනැගිල්ලේ පදිංචියට ආ සීයා කෙනෙකු නිසයි ඒ. සරම අඳින සීයාට මූණ පුරා වැවුණු සුදු රැවුලක් ඇත. සීයා හිමිදිරියේ අවදි වී සොහොන් කොතක් අයිනේ හෝ පඩි පෙළේ වාඩි වී හිනා මූණෙන් සිටිනු හැම උදයකම  පෙනේ.

සීයා සොහොන් බිමේ පදිංචියට ආවේ අපේ පළාතේ උදවියගේ ත්‍යාගශීලීකම මැනීමටදෝයි විටෙක සිතේ. සීයාට සළකන්න ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ පිරිස ඒ තරම්ය. තරමක් පරණ තාලේ ප්ලාස්කුවක දමාගෙන සීයාගේ උදේ තේ එක ගෙනෙන්නේ අසළ ගෙදරක වැඩිහිටි කාන්තාවකි. ඇය උදේම වළලුකර ළඟට දිග කිමොනා ගවුමක් ඇඳගෙන ප්ලාස්කුවත් ඔසවාගෙන පාර දිගේ හෙමි හෙමින් එයි. සීයා එක්ක හිනා වෙවී කතා කරනුද සමහර දාකට පෙනේ.  ත්‍රිරෝද රථ නවත්වා සීයාට කෑම බීම දෙනු ද මා දැක තිබේ. ඒ සමහරු එන්නේ හැන්දෑවේ කළුවර වැටුණාටත් පස්සේය.

කොතරම් දෙනා සැළකුවත් සීයා බඩගින්නේ ඉන්නා වේල් ද ඇති බව මම අත්දැකීමෙන් දනිමි. තාත්තාගේ දානය දා අපි පන්සලේ සිට ගෙදර ඇවිත් හනි හනිකට සීයාට කෑම එකක් අරන් ගියේ දවල් එකත් පහු වී ඇති නිසා සීයා කෑම කා ඇත්දෝයි සැකයෙනි.  අප යන විට බිම ඇළවී සිටි සීයා අව්ව අතින් මුවා කරගෙන කඳ කෙළින් කර වාඩි වුණේය. "අද අපේ තාත්තගෙ දානෙ තිබුණා, සීයට කෑම එකක් ගෙනාවා" කී විට සීයා කෑම එක දෝතින් පිළිගෙන නළලට ළං කර පිං දී අප සොහොන් බිමෙන් පිට වෙන්නටත් පෙර කන්න පටන් ගත්තේය. සීයා බඩගින්නේ නිදා සිටින ඒ වගේ වේල් කීයක් නම් ඇද්ද!

කලින් පාළුවට තිබුණු ප්‍රදේශය සීයා ආ පසු කල එලි වී තිබේ. සොහොන් බිම ඉදිරියේම තැඹිලි කෙසෙල් බුලත් ආදිය විකුණන පොඩි කඩ මැස්සක්ද වැටුණේත් සීයාගේ තනියට වාගේය. එතන ඇති පුටුවේ වාඩි වී සීයා වෙළෙන්දිය සමග හිනා වෙවී කතා කරනු මා දැක ඇත.

රෑ හත හතහමාර වන තෙක් සීයා නිදන තැන ළා එලියක් දැල්වේ. සොහොන් බිම ඇති ප්‍රදේශයටම ඇති එකම එලිය එයයි. අට පහු වූ විට ඒ එලිය නැත. "සීයා නිදි ඇති" ඒ වෙලාවට එතන පහු කරන මට සිතේ.

ඉඳ හිට දවසක සීයා කමිසයක් ඇඳගෙන රෙදි බෑග් එකක් උරේ එල්ලාගෙන හිනා වෙවී (ඒ හිනාව නැති වෙන්නේම නැත ) පාර අයිනේ බෝක්කුව උඩ වාඩි වී සිටී. ඒ බසයේ නැග කොහේ හෝ යන්නටයි. 

සීයාගේ හිත හරි නිදහස් ඇතැයි මට සිතේ. පවු කර ඇති කෙනෙකුට (පිස්සෙකු නොවේ නම්) සොහොනේ ජීවත් වීම පහසු නැත. සොහොනේ ජීවත්වෙන සීයා හැම උදේකම හිනා වෙවී හිටියත් තට්ටු දෙකේ නිවසින් බිමට බැස යාරිස් එකේ එන බොහෝ අය දවසම ඉන්නේ බුම්මාගෙනය. 

සීයාට වැඩිහිටි නිවාසයක් කතා කර දෙන්නදැයි අහන්නට හැමදාම මගේ හිත කියයි. එත් අර ඉන්නා නිදහස පෙනෙන විට එය අසන්නත් ලෝබ සිතේ. එය හැම උදෑසනකම සීයා එක්ක හිනා වෙන්නට ලැබෙන එක නැති වේයැයි කියා මට හිතෙන ලෝබ කමක් ද කියාත් සැක සිතේ.



Of late, our village cemetery looks brighter than earlier. Because the empty little building in the cemetery premises is occupied by an elderly man whom I call ‘grandpa’. The white bearded, sarong clad smiling grandpa sitting on an edge of a tomb or the stairs leading to the small building is a common sight every morning.

The arrival of the grandpa has brought out the hidden generosity of the villagers. Such are the number of volunteers to bring him food. His bed tea supplied by a lady in the neighbourhood comes in an old red flask. She totters to the cemetery in a long gown carrying the flask. Sometimes I see her happily chatting away with the grandpa. Three wheelers stop by with food even after nightfall.

Despite all this generosity, I personally know that the grandpa passes meal times on hungry stomach too. On the day of my father’s alms giving we carried him a packet of lunch fearing that he might have had his lunch by that time because it was already late. He was lying on the floor and hearing our footsteps sat up shielding his eyes from the glare. “We had an alms giving for our father. Brought you some lunch”, I said. He reverently received it and was eating by the time we left the entrance. I wonder how many meals he misses, lying there on the cold floor on hungry stomach!

The grandpa’s arrival has brought extra light to the once deserted vicinity. A roadside seller has set up her temporary hut opposite the cemetery and has started selling king coconuts, babana, betel, etc. as if to keep the grandpa company. Now and then he crosses the road and happily chatters with the seller.  

The cemetery area is pitch dark after night fall. If I happen to pass there by seven or seven thirty in the evening, I see a faint light coming from the grandpa’s sleeping area. If it’s later than that, the cemetery ground is dark as usual making me assume that grandpa must be asleep.

Sometimes I see the grandpa dressed in a shirt and sarong and carrying a linen bag sitting on the culvert waiting for the bus. Again he sits there smiling, the smile that never leaves his face.

I feel that the grandpa is a person who has a feather light mind. Would a person with a conscience-pricking history, if sane, be able to live among the dead so easily?  The grandpa who lives in the cemetery keeps smiling all day, although those who live in big houses and travels in luxury cars always forget to smile. 

I feel like offering the grandpa help in finding a home for an elderly. But I cannot bring myself to disturb that tranquility. It may be partly because of my fear of losing the chance to smile with him every morning.



Sunday, January 12, 2014

1000 pageviews!!!

Praneeth's World just completed 1,000 pageviews. Grateful to all the readers. I always strive to do better!!

Saturday, January 11, 2014

කොඬොල් අලයේ කථා වස්තුව/ Story of the Purple Yam

අසල්වැසියෙකුගේ ගෙදර ගිය අම්මාට පැළ කිරීම සඳහා අඟල් එකහමාරක් තරම් දිග පුංචි කොඬොල් අල කෑල්ලක් ලැබුණි. ආපසු ගෙදර එන විට අම්මාගේ අතේ කුඩ, මල් පැළ ඇතුළු බඩු ගොඩක් තිබුණි. ඒවා නිසා ගේට්ටුව ඇර ගැනීමට අත නිදහස් නැති බව අම්මාට තේරුණි. අම්මා කළේ අතේ තිබුණු බඩු පළමුව ගේට්ටුවට උඩින් වත්ත ඇතුළට විසි කිරීමයි. ඉන්පසුව ගේට්ටුව ඇරගෙන ඇතුළට ඇවිත් විසි කළ දෑ එකතු කරන්නට වූවාය.

බොහොම ආසාවෙන් ගෙනා කොඬොල් අල කෑල්ල ආගිය අතක් නැති බව අම්මාට තේරුණේ මෙවෙලේය. ඇය කොතරම් හෙව්වත් හමු වුණේ කොඬොල් අලය නොවේ. අන්තිමේ හෙවිල්ලෙන් හෙම්බත් වූ අම්මා එය හිතින් අත් හැර දැම්මාය.

දින සති බවට පත් වෙද්දී ගේට්ටුව ළඟම අඹ ගස මැදි කර තනා ඇති මල් රවුම ඇතුළේ අමුතු පැළයක් හිස ඔසවා ඇති බව අම්මාට පෙණුනි. කොඬොල් පැළ දුටු මතින් අඳුනා ගැනීමට අම්මා සමත්ය. ඇය වහා කොඬොල් පැළයට සාත්තු කිරීම ඇරඹුවාය. කලකට පසු, හරියටම කිවහොත් කොඬොල් අල මෝරන දෙසැම්බර් - ජනවාරි කාලයේ, එහි අස්වනු නෙළා ගෙන වස විස නැති පෝෂණීය ආහාරයක් දරුවන්ට දීමට ඇයට හැකි විය.

While visiting a neighbour, mother got a tiny bulb of a purple yam (http://en.wikipedia.org/wiki/Dioscorea_alata) to be planted in her garden. As she was returning home, her hands were full with things that she couldn't open the gate right away. So she threw the things over the gate first and then went in. Once she was inside she started collecting her things which came flying in before her.

At this moment, mother realized the piece of purple yam had gone missing. She looked and looked and looked for it some more but to no avail. Finally with a heavy heart, she gave up.

As days turned into weeks, mother's eyes were caught by an intruder. It was a tiny plant under the mango tree near the gate. She did not need time to recognize the purple yam plant. She started caring for it. After several months, to be exact in December-January season when the purple yam harvest is ready to be consumed, she dug it out and served her children a nutritional, agro-chemical-free meal .